අප ගැන

සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා වූ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ආයතනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයි. සෞඛ්‍ය ප්‍රවර්ධන මූලධර්ම තුළින්, ප්‍රජා බලකරණය හා සජීවීකරණය කිරීමෙන් ප්‍රජාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, පසුගිය අවුරුදු කිහිපය තුළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබාගත් ප්‍රධානතම ජයග්‍රහණයකි. වර්තමානයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, අධ්‍යක්ෂ/ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාරණ යටතේ ක්‍රියාත්මක වන අතර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්, ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන්, වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන්, ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්, පරිපාලන නිලධාරී ප්‍රමුඛ කාර්ය මණ්ඩලයකින් සමන්විතය.

about

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉදිරිපත් කරන ලද ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින්, පෝෂණය හා බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ සන්නිවේදන ක්‍රමෝපායන්, විවිධ ආයතන මගින් ළඟා කර ගත යුතු පොදු අරමුණු සහ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වල ප්‍රමිතිකරණය සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. ජනමාධ්‍ය තුළින් ප්‍රජාව දැනුවත් කිරීම මගින් සෞඛ්‍යයට හිතකර චර්යාත්මක වෙනස්කම් ඇතිකිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අවුරුදු ගණනාවක සිට ඉටුකරන සුවිශේෂී මෙහෙයකි. මෙම සේවාව සියළු දෙනාගේම ප්‍රශංසාවට යොමු වී ඇත. මීට අමතරව මහා පරිමාණයේ සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රදර්ශන පැවැත්වීම, ජාතික ව්‍යාපෘති දින සැමරීමට වැඩසටහන් සංවිධානය කිරීම හා අනෙකුත් ප්‍රජා ක්‍රියාකාරකම් වලට සහයෝගය දැක්වීම මගින් ප්‍රජාව සෞඛ්‍ය ප්‍රවර්ධනයට හා යහපත් චර්යාත්මක වෙනස්වීම සඳහා දැනුවත් කිරීම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ඉටුකරන ප්‍රධාන කාර්යභාරයන් වේ. ඩෙංගු, මී උණ, මන්දපෝෂණය, සහ බෝ නොවන රෝග වැනි සෞඛ්‍ය ගැටලු විසඳාලීම සඳහා විවිධ සෞඛ්‍ය සන්නිවේදන උපකරණ / ඉගෙනුම් ආධාරක නිෂ්පාදනය කිරීම තව ත් කාර්යභාරයකි.සෞඛ්‍ය ප්‍රවර්ධන ස්ථාන ලෙස නිවාස, පොදු ස්ථාන, රෝහල්, පාසල්, ගම්මාන හා සේවා ස්ථාන හැඩගැස්වීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන තවත් සාර්ථක වැඩසටහනකි.

about

උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් පුහුණු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හා සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු වල නියැලෙන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට අඛණ්ඩ සේවාස්ථ පුහුණු පාඨමාලා පැවැත්වීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් සිදුකරයි. එසේම උපදේශාත්මක කමිටු, වැඩමුළු, සමීක්ෂණ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම මෙම කාර්යාංශය විසින් සිදුකරන අතර අනෙකුත් ආයතන විසින් එම දැනුම ඛෙදා ගැනීමට නිතරම ඔවුහු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට ඇරයුම් කරති. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ —සුවසැරිය/ Healthnet නැමැති අන්තර්ජාල සේවාවත්, ඇමතුම් මධ්‍යස්ථානයත් මගින් ප්‍රජාවගේ සෞඛ්‍ය ගැටලු සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් කඩිනමින් හා සරලව භාෂා තුනෙන්ම ලබාදීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු සලසා දී ඇත. මෙම වෛද්‍ය උපදෙස් විද්‍යුත් තැපෑල, ස්කයිප් හා දුරකතන පණිවුඩ මගින් ලබා ගත හැක. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ, බහුවිධ ප්‍රවේශ මගින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉටුකරන මෙහෙවර පිළිගැනීමට ලක් වී ඇති අතර සමස්ථයක් ලෙස මෙම කාර්යාංශය සාර්ථක ආයතනයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටියි.

ඉතිහාසය

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ආරම්භය විසිවැනි සියවසේ මැද භාගය කරා දිව යයි. මෙය මූලික අවධියේදී සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මහජන සෞඛ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ කුඩා ඒකකයක් විය. එකල මෙම ඒකකය කුඩා අංශ දෙකකින් පමණක් සමන්විත විය. මෙයින් එක් අංශයක් ප්‍රධානත්වය හොබවන ලද්දේ ප්‍රධාන සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී යනුවෙන් හඳුන්වනු ලැබූ සමාජ විද්‍යාඥයෙක් මගිනි. සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරිවරයෙක් හා ප්‍රචාරණ නිලධාරීන් දෙදෙනෙක් ඔහුට සහය විය. අනෙක් අංශය හඳුන්වනු ලැබුවේ සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකය ලෙසයි. එම ඒකකයේ ප්‍රධානත්වය දැරුවේ පුහුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. පෝස්ටර්, පත්‍රිකා ඛෙදාහැරීම මගින් හා මහජන රැස්වීම් පැවැත්වීමෙන් මැලේරියාව, පාචනය, පණු රෝග වැනි එකල ව්‍යාප්තව පැවති බෝවන රෝග වැලැක්වීම මෙහි ප්‍රධාන අරමුණ විය. 1950 දී ආරම්භ කළ "සැපත" නම් පුවත්පත මගින් සෞඛ්‍ය සේවකයන්ගේ දැනුම පුළුල් කිරීමට මහඟු දායකත්වයක් ලැබුණි. ඉන්පසු ඇතිවූ ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකක ඇති කිරීම හැඳින්විය හැකිය. මෙම ඒකක වල ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට පත්කරනු ලැබුයේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳව පුහුණුව ලැබූ "සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී" ලෙස හඳුන්වනු ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ජාතික මට්ටමින් ලබාදෙන උපදෙස් අනුව යමින් දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබාදීම ඔවුන්ගේ මූලික වගකීම විය. සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු සන්නිවේදන උපකරණ සවි කරන ලද සෞඛ්‍ය අධ්‍යාපන වෑන් රථයක් සෑම දිස්ත්‍රික්කයකටම ලබාදීමට කටයුතු කෙරිණි. සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ ප්‍රධාන කාර්යයන් තොරතුරු ඛෙදාහැරීම වූ අතර ඔවුහු සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපනික උපකරණ ලබාදීම මගින් හා ඒවා භාවිතය පිළිබඳ උපදේශනය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට ඔවුන්ගේ සහාය ලබාදුන්හ. 1970 මැද භාගයේදී පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණුව සහිත වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් මෙම ඒකක වල ප්‍රධානීන් ලෙස පත් කිරීමත් සමඟ මෙම ඒකක වල මූලික ප්‍රති සංවිධානයක් සිදුවිය. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පවත්වාගෙන ගිය ඒකකයත්, සෞඛ්‍ය අධ්‍යාපන උපකරණ නිෂ්පාදන ඒකකයත් එකතු කොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ලෙස තනි ඒකකයක් බවට පත්කරනු ලැබිණි. මෙය අධ්‍යක්ෂකවරයෙකුගේ පාලනය යටතට පත් වූ අතර පසුකාලීනව මෙම තනතුර 'අධ්‍යක්ෂ, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාරණ' ලෙස නම් කෙරිණි. ඉන් පසු වසර කිහිපයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහයෝගය මත මෙම ආයතනය සීඝ්‍ර දියුණුවක් ලබමින් අතර අංග සම්පූර්ණ කාර්යාංශයක් බවට පත් කෙරිණි. දිනෙන් දින වැඩිවන බෝ නොවන රෝග හා වසංගත ලෙස පැතිර යන බෝවන රෝග පාලනය කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්ප සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීමට ලක් කිරීමේ අවශ්‍යතාව පැන නැගුණු අතර ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය 'සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය' ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා විය. ඒ අනුව ජාතික සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තිය මගින් යෝජිත සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්ප වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීමේ ලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂිත වූ ඒකක 12 කින් යුතුව ප්‍රතිසංවිධාන ගත කෙරිණි